මරණින් මතු නැවත ඉපදීමක් නැත.
මිථ්‍යාදෘෂ්ටිය
මරණින් මතු නැවත ඉපදීමක් නැත.
පින් පව්ය කියා දෙයක් නැත, පින් පව්වලින් වන ඵලවිපාකයක් නැත, අපාය ය කියා තැනක් නැත,දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකයෝ ය කියා තැන් නැත,නිවනක් නැත යනාදීන් වරදවා දැකීම වරදවා පිළිගැනීම මිථ්‍යාදෘෂ්ටිය ය.
මිථ්‍යාදෘෂ්ටි කර්මයට අඞ්ග දෙකකි. එනම්
(1) ගන්නා වූ ආකාරය වැරදි වීම ය.
(2) එයම සත්‍යය යි නිශ්චය කර ගැනීමය
යන දෙකය.
මිථ්‍යාදෘෂ්ටීහු බොහෝ වෙති. එයින් නාස්තික දෘෂ්ටිය ය, අහේතුක දෘෂ්ටිය ය, අක්‍රිය දෘෂ්ටිය ය යන තුන කර්මපථයෝ වෙති. විසිවැදෑරුම් සක්කාය දෘෂ්ටිය හා බ්‍රහ්ම ජාලයෙහි දැක්වෙන දෙසැට වැදෑරුම් දෘෂ්ටීහු ද කර්මයෝ වෙති. කර්මපථයෝ නො වෙති.
✨️නාස්තික දෘෂ්ටිය.
“නත්ථි මහාරාජ! දින්නං නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරොලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා. යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති, චතුමහාභූතිකො අයං පුරිසෝ යදා කාලං කරොති පඨවි පඨවිකායං අනුපෙති අනුපගච්ඡති. ආපො ආපොකායං අනුපෙති අනුපගච්ඡති. තෙජො තෙජොකායං අනුපෙති අනුපගච්ඡති. වායො වායොකායං අනුපෙති අනුපගච්ඡති. ආකාසං ඉන්ද්‍රියානි සංකමන්ති, ආසන්දිපඤ්චමා පුරිසා මතං ආදාය ගච්ඡන්ති, යාවාළාහනා පදානි පඤ්ඤායන්ති කාපොතකානි අට්ඨිනි භවිස්සන්ති, භස්මන්තා ආහුතියො. දත්තුපපඤ්ඤත්තං යදිදං දානං, තෙසං තුච්ඡා මුසා විලාපො, යෙ කෙචි අත්ථිකවාද, වදන්ති බාලෙ ච පණ්ඩිතෙ ච කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති න හොන්ති පරම්මරණා.”
යනුවෙන් දැක්වෙන දන් දීමෙන් පලක් නැත. පූජා කිරීමෙන් පලක් නැත, පුද පඬුරු යැවීමෙන් පලක් නැත, පින් පව්වලට ඵලයක් විපාකයක් නැත, පරලොව වසන්නවුන්ගේ මෙලොව ඉපදීමක් නැත. මෙලොව වසන්නවුන්ගේ පරලොව යාමෙක් නැත, මවට කරන හොඳ නරකවලින් මතුවන ඵලයක් විපාකයක් නැත. පියාට කරන හොඳ නරකවල ඵලවිපාකයක් නැත. මළ පසු නැවත උපදනා සත්ත්වයෙක් නැත. ලෝකයෙහි යම්කිසි යහපත් ප්‍රතිපත්තියකින් මෙලොව පරලොව දෙකක් තමා විසින් ම ප්‍රත්‍යක්ෂ කරගෙන ප්‍රකාශ කරන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නොහොත් මෙලොව පරලොව දෙක ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැනගෙන ප්‍රකාශ කරන බුදුවරයෙක් නැත. මේ ශරීරය සතර මහා භූතයන්ගෙන් නිර්මිත ය. සත්ත්වයා මළ කල්හි ශරීරයේ පෘථිවි ධාතුව බාහිර පෘථිවි ධාතුවට එක් වන්නේ ය. ආපෝ ධාතුව ආපෝ ධාතුවට එක් වන්නේ ය. තේජෝ ධාතුව තේජෝ ධාතුවට එක් වන්නේ ය. වායෝ ධාතුව වායෝ ධාතුවට එක් වන්නේ ය. ඉන්ද්‍රියයෝ අහසට යන්නාහ. පුරුෂයෝ සතර දෙනෙක් සොහොන දක්වා මළ සිරුර ගෙන යන්නාහ. අසවලා දායකයෙක, සිල්වතෙක, අසවලා මසුරෙක, දුශ්ශීලයෙක යනාදීන් පවත්නා ගුණපදයෝ මරණින් මතු පෙනෙන්නාහ. ඇට පරවි පියාපත් පැහැ වන්නාහ. දාන පූජාවෝ හළුවීම කෙළවර කොට ඇත්තෝ ය. දානය මෝඩයන් විසින් පනවන ලද්දකි. යමෙක් දානයෙන් ඵල ඇති බව කියත් ද ඔවුන්ගේ ඒ කීම හිස් ය. බොරු ය. නන් දෙඩවීමක් ය. බාල වූ ද පණ්ඩිත වූ ද සියල්ලෝ ම මරණින් සිඳෙන්නාහ. මතු නූපදින්නාහයි ප්‍රකාශ කරන්නා වූ අජිත නම් තීර්ථකයාගේ මිථ්‍යාදෘෂ්ටිය නාස්තික දෘෂ්ටිය ය.
✨️ අහේතුක දෘෂ්ටිය
“නත්ථි මහාරාජ! හේතු නත්ථි පච්චයො සත්තානං සංකිලෙසාය. අහේතු අප්පච්චයා සත්තා සංකිලිස්සන්ති නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං විසුද්ධියා අහෙතු අප්පච්චයා සත්ති විසුජ්ඣන්ති”
යනාදීන් දක්වන ලද “සත්ත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ප්‍රත්‍යයක් නැත. හේතුවක් ප්‍රත්‍යයක් නැති ව ම සත්ත්වයෝ කෙලෙසන්නාහ. සත්ත්වයන්ගේ විශුද්ධියට හේතුවක් ප්‍රත්‍යයක් නැත. හේතුවක් ප්‍රත්‍යයක් නැතිව ම සත්ත්වයෝ ශුද්ධ වන්නාහ. සත්ත්වයන්ට ඒ ඒ කුඩා මහත් ජාතිවල ඉපද සැපදුක් ලැබීමට එක්තරා නියම ක්‍රමයක් ඇත්තේ ය. බාලයෝ ද පණ්ඩිතයෝ ද යන සෑම දෙන ම ඒ නියමය පරිදි පිළිවෙලින් ඒ ඒ ජාතිවල ඉපිද සැප දුක් ලබන්නා හ. දානපූජාදි පින්කමෙක බලයෙන් හෝ තපස් කිරීමක බලයෙන් හෝ ඒ පිළිවෙළ ඉක්මවා දිව්‍යලෝකාදියෙහි ඉපද විශේෂ සැපයක් නො ලැබිය හැකි ය. නියම කාලය පැමිණෙන තුරු දුක් කෙළවර කර පරම සැපයට ද කිසිවකුට නො පැමිණිය හැකි ය. පින් කරන්නා වූ ද, නො කරන්නා වූ ද, පණ්ඩිත වූ ද, අපණ්ඩිත වූ ද සියල්ලෝ ම සුවාසූදහසක් කල්පයන් මුළුල්ලෙහි සසර සැරිසරා දුක් කෙළවර කරන්නාහ යන මක්ඛලී ගෝසාල තීර්ථකයා විසින් ප්‍රකාශ කරන්නා වූ දෘෂ්ටිය අහේතුක දෘෂ්ටිය ය.
✨️ අක්‍රිය දෘෂ්ටිය
“කරොතො ඛො මහාරාජ! කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පචයතො සොචතො සොචාපයතො කිලමතො කිලමාපයතො ඵන්දතො ඵන්දාපයතො පාණාති පාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසා භණතො කරොතො න කරීයති පාපං”
යනාදීන් දක්වන ලද “තමා විසින් ම පව්කරන්නා හට ද, අනුන් ලවා පව් කරවන්නා හට ද, අනුන්ගේ අත් පා ආදිය සිඳින්නා වූ තැනැත්තාට ද, සිඳවන්නා වූ තැනැත්තා හට ද, ද දඬු මුගුරු ආදියෙන් අනුන් පෙලන්නා වූ තැනැත්තා හට ද, පෙළවන්නා වූ තැනැත්තා හට ද, වස්තුව පැහැරගැනීම් ආදියෙන් අනුන් ශෝක කරවන්නා හට ද, අනුන් ලවා අනුන්ට ශෝක කරවන්නා වූ තැනැත්තාට ද, ආහාර නො දීම් සිර කිරීම් ආදියෙන් අනුන් වෙහෙස වන්නා වූ තැනැත්තා හට ද, අනුන් ලවා අනුන් වෙහෙසවන්නා වූ තැනැත්තා හට ද, අනුන්ට පීඩා කිරීම් වශයෙන් තමා ද සැලෙමින් අනුන් ද සොලවන්නා වූ තැනැත්තාට ද, ප්‍රාණඝාතය කරන්නා හට ද, සොරකම් කරන්නා හට ද, ගෙවල් බිඳින්නා හට ද, ගම් විනාශ කොට වස්තුව පැහැර ගන්නා හට ද, එක් ගෙයක් වට කොට වස්තුව පැහැර ගන්නා තැනැත්තාට ද, මඟ රැකසිට වස්තුව පැහැර ගන්නා තැනැත්තාට ද, පරදාරාවන් කරා යන්නා වූ තැනැත්තා හට ද, බොරු කියන්නා හට ද, ඕනෑකමින් ම පව් කරන්නා හට ද, සිදුවන්නා වූ පාපයක් නැත. පොළොවෙහි ඇති තාක් සතුන් මරා එකම මස් ගොඩක් කරන්නා වූ තැනැත්තා හට ද එයින් වන පාපයක් නැත. දන් දීමෙන් සිල් රැකීමෙන් සත්‍යයෙහි පිහිටීමෙන් ඉන්ද්‍රිය දමනයෙන් තපස් කිරීමෙන් වන්නා වූ පිනක් ද නැතැ’යි පූර්ණ කාශ්‍යප නම් වූ තීර්ථකයා විසින් පැවසූ දෘෂ්ටිය අක්‍රිය දෘෂ්ටිය ය.
✨️✨️ මිථ්‍යාදෘෂ්ටි කර්මයාගේ විපාකාදිය
“නාහං භික්ඛවේ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහාසාවජ්ජං: යථයිදං භික්ඛවේ මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨි පරමා භික්ඛවෙ වජ්ජානීති.”
යනුවෙන් මහණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටිය යම් බඳු ද එසේ මහාසාවද්‍ය වූ අන් එක ම ධර්මයකුදු මාගේ සර්වඥතාඥානයෙන් නො දකිමි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය වරදවල් අතුරෙන් සියල්ලට ම මහත් වරද වේය”යි තථාගතයන් වහන්සේ වදාළ සේක.
මෙය කර්ම, කර්ම ඵල දෙක ප්‍රතික්ෂේප කරන්නා වූ නාස්තිකය අහේතුකය අක්‍රියය යන දෘෂ්ටි තුන ගැන කරන ලද දේශනයෙකි.
ඒ දෘෂ්ටි තුන අතුරෙන් කවර දෘෂ්ටියක් වුවත් ගත් තැනැත්තා හට එය නො හැර මරණින් මතු සුගතියට නො පැමිණිය හැකි ය.නිවනට ද නො පැමිණිය හැකි ය.
ඒ දෘෂ්ටීහු සත්ත්වයන්ට ස්වර්ග මෝක්ෂයන් ආවරණය කරන්නෝ ය. ඒ දෘෂ්ටි තුන අතුරෙන් කවරක් හෝ ගෙන සිටින තැනැත්තා මරණය දක්වා එය නො හැර සිටියේ නම් ඒකාන්තයෙන් අපායට පැමිණෙන්නේ ය.
එබැවින් ඒවාට නියත මිථ්‍යාදෘෂ්ටිය යි කියනු ලැබේ. මිථ්‍යා දෘෂ්ටිය ගත් තැනැත්තා එය නිසා තවත් බොහෝ පව් රැස් කරන්නේ ය. ඒවා ද එකතු වී මිථ්‍යාදෘෂ්ටි කර්මය විපාක දෙන්නට වන් කල්හි ආනන්තර්‍ය්‍ය කර්මයන්ට ද වඩා බලවත් ව විපාක ගෙන දෙන්නේ ය.
ආනන්තර්‍ය්‍ය කර්ම කළවුන් කල්පාවසානයේ දී නරකයෙන් මිදෙන බවත්, නියත මිථ්‍යා දෘෂ්ටිය ගතුවන් තමන් සිටින ලෝකධාතුව විනාශ වන කල්හි අන් ලෝක ධාතුවක නරකයට පැමිණ එහි විපාක විඳින බවත් එහි විපාකාවසානයාගේ නියමයක් නැති බවත් දක්වා තිබේ.
බොහෝ දෙනාට මිසදිටු ගැනීමට හේතු වන්නේ මිසදිටුවන් සේවනය කිරීම ය. ඇතැම් මිසදිටුවෝ තමා ගෙන සිටින දෘෂ්ටිය අන්‍යයන්ට ද රසවත් කොට පෙන්වා මඳ නුවණ ඇතියන් ලවා මිසදිටු ව ගන්වති.
සම්‍යක් දෘෂ්ටිකයකු මිථ්‍යාදෘෂ්ටියකු කිරීම මහා අපරාධයෙකි. ධර්ම විෂයෙහි ප්‍රත්‍යක්ෂ දර්ශනයක් නැත්තා වූ පෘථග්ජන පුද්ගලයා රැවටෙන සුළු ය. ධර්මයෙන් ඈත් ව වාසය කරන්නා වූ තැනැත්තන් මිසදිටුවන් සේවනය කරන්නටත්, ඔවුන්ගේ දෙසුම් ඇසීමටත්, ඔවුන්ගේ පත පොත කියවන්නටත් පටන් ගත හොත් මුලාවී මිසදිටු වීමට ඉඩ තිබේ. මිසදිටු වීම තරම් නපුරක් තවත් නැත. එබැවින් මිථ්‍යාදෘෂ්ටිකයන්ගෙන් තුරන්ව වාසය කිරීම යහපති.
“තස්මා අකත කල්‍යාණං - ආසිවිස මිචොරගං
ආරකා පරිවජ්ජෙය්‍ය - භූති කාමො විචක්ඛණො.”
යනුවෙන් කරන ලද පින් නැත්තා වූ මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයා ඝෝර විෂ ඇති සර්පයකු මෙන් සලකා දෙලොව වැඩ කැමති නුවණැතියන් විසින් ඔහුගෙන් දුරින් ම දුරු විය යුතු බව දක්වා තිබේ.
අපේ ඇතැම් බෞද්ධ මාපියෝ ස්වකීය දරුවන් මිසදිටුවන් යටතට පත්කොට ඔවුන්ට මිසදිටු වන්නට මඟ පාදති. එය දරුවන්ට කරන්නා වූ මහත් වූ ම අපරාධයෙකි.
මිථ්‍යාදෘෂ්ටි කර්මය මහා පාපයක් වන නමුත් එය බොහෝ ද්‍රව්‍ය රැස් කරගෙන උපකාරයට මිනිසුන් රැස් කරගෙන වියදමක් දරා මහා පරිශ්‍රමයකින් සිදු කළ යුත්තක් නො ව සිතෙන් ම සිදුවන්නක් බැවින් ධර්මයෙන් ඈත්ව සත් පුරුෂ සේවනයෙන් තොර ව වාසය කරන්නා හට පහසුවෙන් ම සිදු විය හැකි ය. එය සිදුවීමට වුවමනා “පින් පව් කියා දෙයක් නැතය කියා හෝ පින් පව්වල විපාකයක් නැත ය කියා හෝ මරණින් මතු ඉපදීමක් නැතය කියා හෝ පිළිගැනීම” පමණෙකි. දෙලෝ වැඩ සිදු කර ගනු කැමැත්තෝ එයින් වළකිත්වා!
________________________________________
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි රචිත බෞද්ධයාගේ අත්පොත ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදි... ✨️✨️
_________________________________________
Comments
Post a Comment