රජ බිසව
රජ බිසව බෙහෙවින් ලස්සනයි. ඇගේ සිරුරේ අපූරු හැඩතල පිහිටලා තියෙනවා. ඈ ඇවිදිනවා බලන් ඉන්න එකත් ඇසට බෙහෙවින් ප්‍රිය යි. අන්දරේ රජ බිසව ගැන වහ වැටුණා. තමන්ගේ තරම අමතක වෙලා විතරක් නෙවෙයි, අවදානමත් කල්පනාවට ආවේ නෑ.
මේ යෝදයා රජ බිසව තමන්ගේ වසඟයට ගන්නට වලි කනවා.
අන්දරේගේ යටි අදහස බිසවට දැනුණා.
කොහෙද යන නාට්ටෙක් නිසා තමනුත් රාජ උදහසට ලක්වන්නට ඉඩ තිබෙන බව ඇයට තේරුණා. රජතුමා කෝප ගන්නේ නැති විදියට ලාවට සිද්ධිය රජතුමාට කියන විදියක් කල්පනා කළා.
පාන්දර යාමේ බිසවුන් වහන්සේ එක්ක ව්‍යායාම කළාට පස්සේ රජතුමාට උණුසුම් පානයක් බොන්නට දීලා එයාගේ ගත සිත ප්‍රරබෝධමත් වෙලා ඉන්න වෙලාව තමයි බිසව මේ අලකලංචිය රජතුමාගේ කනේ තියන්න තෝරා ගත්තේ.
රජතුමාට කේන්ති ගියේ නෑ. සිත බොහොම සන්සුන් අවස්ථාවක් නේ. සිතිවිලි පහළ වෙන්න කියාපු වෙලාව නෙ. මදහස පෑවා විනා කිසිවක් කීවේ නෑ.
දහවල් කාලයේ දී රජතුමාට අන්දරේ මුණ ගැසුණා. රජතුමා ඔහුට නියෝගයක් කළා.
”වැව්, පොකුණු, දිය අගල්, ගංගාවලින් වගේ ම පින්තාලි කිහිපයකිනුත් වතුර අරන් වරෙන්.”
අන්දරේ මුලින් ම ගියේ කුඹලා මුණ ගැහෙන්න.
”දිවුල් ගෙඩි තරමේ කල හැට හැත්තෑවක් ඕන. රජතුමාගේ අණ.” අන්දරේ දුන්නා ලණුවක්.
ඊළඟට ගියා වඩු අප්පුගෙ ගෙදර. ”අඩිය පැතලි හතරැස් තට්ටු දෙකක් එක්ක කදක් හදාපන්. වහාම. රජතුමාටයි ඕන කරලා තියෙන්නේ.”
මේ විදියට ම පුංචි දරණුත් හදවා ගත්තා. හැන්දෑ යාමේ දිය තිබෙන තැන් සොයා ගියා.
ඊළඟ දවසේ උදේ අන්දරේ කදත් බැඳගෙන රජවාසලට ගියා. පුංචි පුංචි කලගෙඩි හැට හැත්තෑවක්.
”පස්වාන් දහසකට බුදුවන්න රජතුමනි. මේ ඉසව්වේ තිබෙන වැව්, පොකුණු, ඇල, දොළ, ගංගා, ළිං හැම එකකින් ම දිය ගෙනාවා.”
රජතුමා කලයක් පෙන්නුවා. ”මේ කලේ තියෙන්නේ මොන වතුර ද?”
”ඒ අහවල් වැවේ දිය රජතුමනි.”
”උගුරක් දෙකක් බීපිය.”
අන්දරේ බිව්වා.
”එතකොට මේ කලේ තියෙන්නේ මොන වතුර ද?”
”අහවලාගේ ළිඳේ වතුර.”
”ඒකෙනුත් උගුරක් දෙකක් බීපිය.”
අන්දරේට මේ විදියට හැම කලේකින් ම වතුර බොන්න සිද්ධ වුණා. ඊට පස්සේ මඟුල් පොකුණෙන් වතුර කලයකුත් ගෙන්වාගෙන ඒකෙනුත් බොන්න දුන්නා.
”උඹ වැව්වල, පොකුණුවල, ළිං වල, ඇල, දොළ ගංගාවල වතුර බිව්වා නෙ. මඟුල් පොකුණෙනුත් වතුර බිව්වා නෙ. දැන් මට සහසුද්දෙන් කියාපන් මේවායේ වතුරවල වෙනස්කම් ගැන.”
”වතුර කෝකෙත් එක ම රස නෙ රජතුමනි. කියන්න තරම් වෙනසක් නෑ.”
”ආන්න හරි. උඹට තේරෙනව නෙ. යකෝ. මඟුල් පොකුණ තියෙන්නෙ මහ රජතුමාගෙ පරිහරණයට. තොට තිබහ නම් තෝ ගිහින් ගෙදර ළිඳෙන් බීපිය. නිකං බෙල්ල ගහලා යන මොට්ට මෝල් වැඩ කරන්න යන්නෙ නැතුව.”
අන්දරේට හීන්දාඩිය දැම්මා.
Copied
Comments
Post a Comment